ඉස්සර ආහාර කල් තබාගත්ත විදියට දැන් කරන්න බැරිද ?

(Gihan Sampath )

03 Feb 2021 | 10:15 AM 92



අතීතයේදී අපේ මුතුන් මිත්තන් සියලු‍ ආහාර බෝග වලින් සශීකව සිටියා. ඉතින් ඔවුන් තම තමන්ගේ බෝග වර්ග අහල පහල අයත් එක්ක බෙදා හදා ගත්තට පස්සෙ ඉතිරි වූ කොටස කල් තබාගත්තේ ආහාර හිඟ වූ කාලයකට ඒවා ප්‍රයෝජනයට ගන්නත් එක්ක. ඒත් එහෙම කල් තබා ගත්ත ආහාරවලිනුත් මොකක්දෝ අලු‍ත් රසයක් බත් පතකට එකතු වුන නිසා දෝ සමහරු නම් මුලින්ම කලේ ඒ ආහාර සෘජුවම බත් පතට එකතු කර නොගෙන කල් තබා ගැනීම සඳහාම භාවිතා කරපු එක. අව්ව, සුළඟ වැනි ස්වභාවධර්මයෙන් ලැබෙන දායාදවලින් ආහාර කල් තබාගත් ඔවුන් එම ආහාරවලින් ලැබෙන ගුණ අගුණ පිළිබඳවද මනා අවබෝධයක් ලබාගෙන තිබුණා. අපේ මුතුන් මිත්තන් මස් මාළු වර්ග කල්තබා ගත්තේ හරිම අපූරු විදිහකට. එක ක්‍රමයක් කියලා ඔවුන්ට තිබුණේ නැහැ. තම ප්‍රදේශයට ආවේණික වූ දේශගුණික රටාවට, තම අවට තියෙන අනෙකුත් සම්පත්වලට අනුරූපීව ඔවුන් ආහාර කල් තබා ගත්තේ ඔවුනොවුන්ටම අනන්‍ය වූ වෙනස්ම ක්‍රමයකටයි.

මස් මාළු, අල, කොස්, දෙල්, දෙහි ආදී බොහෝ ආහාර වර්ග කල්තබා ගැනීමට ඔවුන් භාවිතා කල එක් ක්‍රමවේදයක් තමයි අව්වේ වියළා ගැනීම. සමහර ආහාර තැම්බූ පසුව අව්වේ වේලාගත් අතර සමහර ආහාර ඔවුන් තැම්බීමකින් තොරව අමුවෙන්ම වේලා ගත් අතර මෙසේ වේලා ගැනීමට ඔවුන් මද අව්ව සහ තද අව්ව භාවිත කළා.

ආහාර කල්තබා ගන්නා විවිධ ක්රම රාශියක් ඇති අතර අපි දැන් ඒවා එකින් එක විමසා බලමු. අපේ මුතුන් මිත්තන් මස්මාළු වර්ග කල් තබා ගත්තේ මෙන්න මෙහෙමයි. අපේ පැරැන්නන් දඩයමක් සාර්ථක වූ දිනයකදී හෝ වැසි කාලයේදී ඇලෙන් දොලෙන් වැවෙන් අල්ලාගත් මසුන් එදිනෙදා පරිභෝජනයෙන් පසුව ඉතිරි වූ කොටස කල්තබා ගැනීමට විවිධ ක්රම රාශියක් අනුගමනය කරනු ලැබුවා.

මී පැණි වල දැමීම

පිරිසිදු මැටි භාජනයකට මස් සියල්ලම දමා ඉන්පසු මස් සියල්ලම වැසී යන පරිදි මී පැණි වත්කර බඳුනේ කට හුඹස් මැට්ටෙන් වසා සීල් කරනු ලැබූ අතර, මෙසේ කිරීමෙන් අපේ පැරැන්නන්ට මස් වර්ග බොහෝ කලක් නරක් නොවී තබා ගැනීමට හැකියාව ලැබුනා.

තද අව්වේ වේලීම

සිහින්ව කපාගත් මස් සකසා ගත් මාළු ගලක් වැනි රළු පෘෂ්ඨයක් මත අතුරා තද අව්වේ වේලා ගැනීමෙන් පසු බොහෝ කාලයක් මාළු තබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

දඩමස් දුම්ගසා වේලීම

දඩමස් සිහින්ව කපා තීරු කරගෙන දුම් මැස්සක අතුරා එයට යටින් ගින්දර දමමින් දුම් ගස්සවා මස් වර්ග ඔවුන් විසින් වේලා ගනු ලැබුවා.

වෙල් මාළු දුම් ගස්සවා වේලීම

කපා සුද්දකරගත් මාළු කූරියන් ලු‍ණු ගොරක දියරෙන් පොඟවා කොළපතක (පුවක් කොළයක) ඔතා එයට දුම් වදින සේ ලිපට ඉහළින් ඇති දුමෙහි එල්ලා ඔවුන් මාළු කූරියන් දින කිහිපයක් නරක් නොවී තබා ගත්තා.

මාළු ලිප් බොක්කේ වැළලීම

දර ලිපක් සොයා ගැනීමට දුෂ්කර වූ වත්මන් සමාජයට මෙය අමුතුම ක්රියාවලියක් වුවත් අපේ පැරැන්නන් බල මාළු පැටව්,කුම්බලාවා, අලගොඩුවා වැනි මාළු වර්ග කල්තබා ගැනීමට ලිප් බොක්ක භාවිතා කලා. හොඳින් සුද්ද කර ලු‍ණු වතුරෙන් සෝදා ගත් මසුන් මත ගලේ අඹරාගත් ලු‍ණු කැට සහ කහ මිශ්රණය හොඳින් ගල්වා එම මාළු පිරිසිදු කරගත් කෙසෙල් දල්ලක ඔතා අඟල් 06, 07 ක් පමණ හාරන ලද ලිප් බොක්කක වල දමනු ලැබුවා. ඉන්පසු වෙනදාට වඩා වැඩි පුර කාලයක් ලිප දල්වා ඔවුන් සාමාන්ය පරිදි එදිනෙදා තම කටයුතු සිදුකර ගත් අතර, සති දෙකකට පමණ පසු මෙම මාලු‍වා ලිප් බොක්කෙන් ගොඩ ගන්නා විට එය එතරම් තද නැති මෘදු උම්බලකඩයක් බවට පත්වී තිබුනා. ඉන්පසු මෙය සාමාන්ය කරවල කල්තබා ගන්නා ආකාරයටම කල්තබා ගත් අතර පැරැන්නන් විස්තර කරන ආකාරයට මෙය ඉතා රසවත් ආහාරයක් වුනා.

වැව් මාළු, වෙල් මාළු ලු‍ණු දැමීම

පිරිසිදු මැටි බඳුනක් ගෙන එහි අඩියට ලු‍ණු සහ ගොරකා තට්ටුවක් දමා ඉන්පසු එය මත මාළු තට්ටුවක් අසුරනු ලැබූ අතර නැවත එය මත ලු‍ණු සහ ගොරකා තට්ටුවක් දමා නැවත මාළු තට්ටුවක් එක් කරමින මෙලෙස මාළු වර්ග සුරක්ෂිත කොට තබාගෙන සැලකිය යුතු කාලයක් මාළු කල්තබා ගැනීමට ඔවුනට හැකියාව ලැබුනා.

දඩමස් පන් මල්ලේ දමා දුම් මැස්සේ එල්ලීම

ගෝන, මුව, ඌරු ආදී නොයෙක් දඩමස් වර්ග වලට කහ, ලු‍ණු දමා අතගා ගෝනියක හෝ පන් මල්ලක බහා වැල් පටකින් දුම්මැස්සේ එල්ලා තැබීමෙන් (දුමේ ඉහළ තැබීමකින් තොරව) ඉතා හොඳින් පිරිසුදුව වියළා ගෙන බොහෝ කලක් ඔවුන් දඩමස් ළඟ තබාගත්තා.

මාළු ඇඹුල් තියල් කිරීම

මාළු පිරිසිදු කර කැබලි වලට කපා තම්බා අඹරාගත් ගොරකා සමඟ සුදුළූණු, රම්පේ, කරපිංචා, ගම්මිරිස්, අමු ඉඟු‍රු, කුරුඳු පොතු සිහින්ව අඹරා මාළු මත හොඳින් තවරා ලු‍ණුත් සමඟ මිශ්රකර කෙසෙල් කොළයක් අතුරාගත් පිරිසිදු වලඳක අඩියට මෙම මිශ්‍රණයද සමඟ මාළු කැබලි ඇතිරීමෙන් පසු මෙය ලිප මත තබා වලඳ උඩින් ගිනි කබලක් හා යටින් ගින්දර දමා පිසගනු ලැබුවා. මෙලෙස මාළු කල්තබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනා.

මාළු මෝජු දැමීම

බල මාළු හෝ කෙළවල්ලා මාළු කැබලි ගැඹුරු තෙලේ බැදගෙන ඉන්පසු එයට බැදගත් අමුමිරිස් හා රතුළූණු සමඟ හොඳින් අඹරාගත් අමු ඉඟු‍රු, සුදුළූණු සහ අබ ස්වල්පයක් සමඟ මාළු, රතුළූණු, අමුමිරිස් කලවම් කර ලු‍ණු විනාකිරි සමඟ මැටි බඳුන් වල බහා මාළු මාස දෙක තුනක් පමණ කල්තබාගත හැකි වුනා.

අපේ මුතුන් මිත්තන් අනෙකුත් ආහාරභෝග කල්තබාගත්තේ මෙන්න මෙහෙමයි.

හතු කල්තබා ගැනීම 

අපේ මහ පොළවෙ පිදුරු හතු, ඌරු හතු, ඉබිටොක්කා හතු, හීන්වැලි හතු, වැලි හතු, රිට්ටා හතු, අදින හතු, ඉඳලෝලු‍ හතු, කොටන් හතු අදී වශයෙන් බොහෝ හතු වර්ගයන් හටගත් අතර, අපේ පැරැන්නන් මෙම හතු වර්ග කල්තබා ගැනීමට එය පළමුව ලු‍ණු වතුරේ තම්බාගෙන දිය මිරිකා හැර තද අව්වේ වේලා ගත්තා. ඉන්පසු තමන්ට අවශ්ය වූ විටෙක ඇල් වතුරේ දමා යලිත් හතු පිපී ප්රකෘතිමත් වූ විට තම ව්යාංජනයන්ට එක්කර ගත්තා. 

ධාන්‍ය වර්ග, අල බතල වර්ග කල්තබා ගැනීම

ධාන්ය වර්ග හා අල, බතල, මඤ්ඤොක්කා ආදී අල වර්ග පෙති ගසා හෝ කැබලි කපා අව්වේ වේලා ගැනීමෙන් අනතුරුව අටුවේ තැබීමෙන් බෝහෝ කාලයක් තබාගැනීමට ඔවුනට හැකි වුනා. ඉන්පසු තමන්ට අවශ්ය වූ විට ඒවා වංගෙඩියේ දමා කොටා පිටි සකසා එම පිටිවලින් ආහාර සැකසීමද මඤ්ඤොක්කා වැනි අල පෙති වර්ග තෙලින් බැද පැණියෙන් දවටා රසවත් අතුරුපසක් පිළියෙල කරගත්තා.

රටදෙල් කල්තබා ගැනීම

අවුරුද්දේ එක් කාල සීමාවක පමණක් හැදෙන රට දෙල් වාරයේදී අපේ පැරැන්නන් එම දෙල් ගෙඩි සිහින්ව ලියා තද අව්වේ වේලාගත්තා. ඉන්පසු මෙම වේලා ගත් රට දෙල් කැබලි බැද එයට පැණි දමා රසවත් අතුරුපස ද, පොල් දමා වියළෙන්නට මලවා මැල්ලු‍මක් ලෙසින්ද තම ආහාර වලට එකතු කරගත්තා.

මී පැණි කල්තබා ගැනීම 

මී පැණි වලට ගම්මිරිස් ඇට කිහිපයක් එක්කිරීමෙන් මී පැණි ඕනෑම කාලයක් නරක් නොවී කල්තබාගැනීමට ඔවුන්ට හැකි වුනා.

ලු‍ණු දෙහි 
දෙහි වාරයට ගස් යට එක් රැස් වී කුණු වී යන දෙහි කල්තබා ගැනීම සඳහා ඔවුන් දෙහි ගෙඩිය හතරට පලා ලු‍ණු දමා තද අව්වේ දින 07 ක් පමණ වියළා දෙහි යුෂ සහ ලු‍ණු වතුර මිශ්‍ර කර අව්වේ කකාරවා ගෙන වියළි දෙහි වලට මිශ්‍ර කර බෝතල් වල අසුරාගත්තා. මෙලෙස ඔවුන්ට ආහාර රුචිය වඩවන, උදරාබාධ වලට ගුණදායක වන ආහාරයක් වන ලු‍ණු දෙහි සකසා ගැනීමට හැකි වුනා.

කොච්චි මිරිස් වේලීම

කොච්චි මිරිස් වලට ලු‍ණු දමා තද අව්වේ දින 05 - 07 අතර කාලයක් වියළා දෙහි යුෂ සහ ලු‍ණු වතුර අව්වේ කකාරවා කොච්චි වලට වත්කර බෝතල්වලට අසුරනු ලැබුවා. 

ගොරකා කල්තබාගත් ආකාරය

ඉදුණු ගොරකා වල මදුලු‍ සහ ලෙලි වෙන්කරගත් අපේ පැරැන්නන් පළමුව ගොරකා ලෙලි අව්වට දමා වේලා ගත් අතර ගොරකා මදය වෙනම බඳුනකට එකතු කරගන්නා ලදී. එම මදුලු‍ සහිත බඳුනෙන් සතියක් පමණ ගිය විට විනාකිරි වැනි ද්රාවණයක් සෑදෙන අතර ඔවුන් එම ද්රාවණය මුලින්ම එක් රැස්කර තබාගත්තා. ඉන්පසු නැවුම් ගොරකා මද නැවත සපයාගෙන ඒවා හොඳින් අතින් පොඩිකර නැවත පෙරදී වේලාගන්නා ලද ගොරක ලෙලි හා මිශ්‍ර කරනු ලැබුවා. දැන් මෙය මුට්ටියකට දමා හොඳින් වසා තබා දින දෙකකට පසු නැවත එලියට ගෙන අව්වේ වේලා ගත්තා. මෙලෙස වට කිහිපයක් සිදුකර මුලින් සාදාගත් විනාකිරි වැනි ගොරකා මදුලු‍ දියරයේ දමා කලවම් කරගත් අතර එවිට හොඳ මෙලෙක් ගතියකින් යුත් ගොරකා ඔවුනට ලබාගත හැකි වුනා. දැන් මෙයට දුම් වදින්නට සලස්වා හෝ එසේ නොමැතිව අවශ්ය කාලයක් ගොරකා කල්තබා ගැනීමට ඔවුනට හැකියාව ලැබුනා.



COMMENTS


TOP STORIES


ජීවිත කාලෙටම කියවලා ඉවර කරන්න බැරි පොත් තියෙන තැනක්

කතාවක් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ මිනිහෙක් සම්පූර්ණ වෙන්න කියවීම කියන ද

29 Jan 2021 | 9:30 AM 174


බස් එකේ ගියත් කොරෝනා - සැප වාහනේ ගියත් කොරෝනා

15 Jan 2021 | 10:30 AM 155


මාස්ක් එක නිසා ඔබේ ජීවිතෙත් මේ විදියට වෙනස් වෙලාද ?

06 Jan 2021 | 7:45 AM 162


ඩිජිටල් තිරයකට මුවා වූ අපේ ජීවිත

30 Dec 2020 | 1:15 PM 158


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES