පරිවාස භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටියදී දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින්.

තරුණයෙකු සහ පෙනුමෙන් ඉතා අඩු ගැබිනි කාන්තාවක් ගමන් කරනු දැක සැක සිතී ඒ පිළිබඳ පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව මෙම දෙදෙනාගේ ගමනාන්තයක් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබා දී නැහැ.

නිලධාරීන් දෙදෙනා එහිදී එම යුවල පොලිසිය වෙත ගෙන්වා දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිලුකා ගයන්ති මහත්මිය මෙම දෙදෙනාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර එහිදී තොරතුරු හෙළි කර ගන්නට හැකි වුනා.

මෙම 15 හැවිරිදි දැරිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී තරුණයෙකු විසින් අපයෝජනයට ලක් කර තිබෙනවා.

ගැබිණි වූ දැරිය අධිකරණ නියෝගයක් පරිදි අනුරාධපුර ළමා නිවාසයක පරිවාස හා ළමා ළමාරක්ෂක සේවා අධිකාරිය භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කර තිබුනා.

එම රෝහලේ සිටියදීය මෙම දැරිය – අතවරයට ලක් කළ බව කියන 24 හැවිරිදි තරුණයා විසින් සූක්ෂම ලෙස පැහැරගෙන යන බවටයි දඹුල්ල පොලිස් නිලධාරීන් ට අනාවරණය කර ගත හැකි වුනේ.

මෙම සිසුවිය පසුගිය 22 දින අනුරාධපුර රෝහලෙන් පැහැරගෙන ගොස් කොළඹ ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක රඳවාගෙන සිට තිබෙනවා.

නැවත දඹුල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගමන් කරමින් සිටින අතරතුරයි පොලිස් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්ව ඇත්තේ.

අධිකරණ නියෝග හමුවේ රෝහල්ගතව සිටි මෙම සිසුවිය පිළිබඳ අනුරාධපුර පොලිසියට දැනුවත් කොට සැකකාර තරුණයා සහ සිසුවිය බාර දීමට කටයුතු කර ඇති බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතා සඳහන් කළා.

( කාංචන කුමාර ආරියදාස)

WhatsApp Group

Skip to content