උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ අද පස්වරුවේ සුභ නැකතින් දොරට වැඩම කරවීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවයි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ චාරිත්‍රාණුකුල වතාවත් සහ පුද පූජා පැවැත්වීම කටයුතු යොදා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

හෙට අළුයම යෙදෙන සුභ නැකතින් – පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සඳාතුක කරඬුව, සුමන සමන් දේව රන්මුවා පිළිමය හා දේවාභරණ රැගත් පෙරහැර ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කිරීම ආරම්භ කෙරෙනවා.

මෙවරද හැටන් -නල්ලතන්නිය, කුරුවිට – එරත්න, පලාබද්දල හා බගවන්තලාව යන මාර්ග 04 ක් ඔස්සේ පෙරහැර ගමන් කර උඳුවප් පුන් පෝය යෙදෙන බදාදා අළුයම – ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කර චාරිත්‍රාණුකූල පුද පූජා පවත්වා සඳාතුක කරඬුව, සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ තැන්පත් කිරීමට නියමිතයි.

ශ්‍රීපාද වන්දනා සාමය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා මාස 06 ක කාලයක් පැවැත්වෙනවා.

වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන් වෙනුවෙන් පොදු පහසුකම් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බව නුවරඑළිය හා රත්නපුර දිසාපතිවරුන් සඳහන් කළා.

WhatsApp Group

Skip to content