නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය විසි හතර තුළදී තමිල්නාඩු පුදුච්චේරි වෙරළ වෙත ළඟාවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් ඉදිරි පැය විසි හතර තුළ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට අද දිනයේත් යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

එමෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයටද යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එම මුහුදු ප්‍රදේශ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් පමණ වැඩිවිය හැකි වනවා.

වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර දෙකත් තුනත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව ද සඳහන්.

මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උතුර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

WhatsApp Group

Skip to content