එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා  සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි මහතා විසින්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය  සඳහන් කලේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය  සඳහන් කලේ.

WhatsApp Group

Skip to content