ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙනවිත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු අද(19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශවල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ , තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙම ජාවාරම සදහා ලාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

අබුඩාබි , ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින්, දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන, එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා අලෙවි කර තිබෙනවා.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

මීට අමතරව මේ පිළිබඳ පැමිණිලි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය වෙත ලැබී තිබූ අතර, එහි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

මේ වනවිට අබුඩාබි, ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථානවල මෙම සිදුවීම්වලට ගොදුරු වූ තරුණියන් විශාල පිරිසක් රඳවා ගෙන සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රකාශකවරයා පවසනවා.

මොහු අද(19) දින අලුයම 12.55 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ-569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිට අබුඩාබි , ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථාන වල මෙම සිදුවීම් වලට ගොදුරු වූ තරැණියන් විශාල පිරිසක් රදවා ගෙන සිටිනවා .

ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ .

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි .

https://www.vnews.lk/storage/2022/11/DINESH-GUNAWARDHANA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content