ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් අද දිනයේ දේශපාලන පක්ෂ දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පවත්වන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගනයේදී මැයි රැළිය පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මේ අතර සමගි ජන බලවේගයේ මැයි රැළිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව චැතම් වීදියේදී පවත්වන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවා.

මේ අතර ජාතික ජන බලවේගය මෙවර මැයි රැළි 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එහි ප්‍රධාන රැළිය ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේ පැවැත්වෙන අතර, අනෙකුත් මැයි රැළි තුන මාතර, යාපනය සහ අනුරාධපුරයේදී පැවැත්වෙන බවයි එම පක්ෂයේ සාමාජික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර උත්තර ලංකා සභාගයේ මැයි රැළිය අද කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය තමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු කණ්ඩායම පක්ෂ වෘත්තීය සමිති සමග එක්ව අද දිනයේදී විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේදී මැයි රැළියක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

මේ අතර ලංකා සමසමාජ පක්ෂය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හයිඩ්පාර්ක් ක්‍රීඩාංගනයේත්,ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය, කොටගල නගර සභා ක්‍රීඩාංගනයේත් මැයි රැළි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content