පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග පොලිස් අත්අඩංගුවට ගැනීමේ පුවතක් තිරප්පනෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළැඹෙන පලාත් පාලන මැතිවරණයේදී තිරප්පනේ ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සැකකාර අපේක්ෂකයා සන්තකයේ තිබී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 180,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 3500කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී සැකකරු සහ භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බවයි.

සැකකරුගේ නිවස පිටුපස ගල්වලක් ආසනයේ සඟවා තිබියදී අදාළ නීති විරෝධී මත්පැන් තොගය සහ ගෝඩා තොගය සොයා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එළැඹෙන 16 වැනිදා සැකකරුගේ නිවසේ පැවැත්වෙන ජනහමුවකට සහභාගි වන පාක්ෂිකයන්ට සහ ආධාරකරුවන්ට ලබාදීම සඳහා මෙලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර අපේක්ෂකයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content