Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අදත් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මෙහි බලපෑමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

එමෙන්ම සෙසු ප්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර එරාවුර්, රහ්මානියා ප්‍රදේශයේ ගොවි පොළකට ඊයේ අලුයම අකුණු සැර වැදි තිබෙනවා.

ඒ හේතුවෙන් ගොවි පොළේ සිටි එළුවන්, කුකුළන් සහ තාරාවන් ඇතුළු සතුන් රැසක් පිළිස්සී මිය ගොස් ඇති බවයි වී.එෆ්.එම් වාර්තාකරු කියා සිටියේ. මේ අනුව ගොවි පොළේ සිටි සතුන් 27 දෙනෙකු පමණ එලෙස මිය ගොස් තිබෙනවා.

මේ අතර අධික වැසි තත්ත්වය අතරතුර මහනුවර, දුනුවිල ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී, විශාල ගලක් පෙරළීමෙන් ළමුන් දෙදෙනෙකු මිය ගියා.

එලෙස දිවි අහිමි වූයේ 18 හැවිරිදි අයේෂා නිශානි විතාරණ සහ 16 හැවිරිදි සිතුම් සාරංග විතාරණ නම් එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අනතුර සිදුවූ අවස්ථාවේ මව, පියා සහ දරුවන් තිදෙනෙකු එම නිවසේ සිට ඇති බව සඳහන්. තුවාල ලැබූ මව, පියා සහ 12 හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

පස් සහ නිවසේ සුන්බුන් අතර සිරවී සිටි දරුවන් සොයා ගනු ලැබුවේ යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.

එම දරුවන් දෙදෙනා සොයා ගන්නා අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය 02 ක් සහ විශේෂ දුම්රියක් අවලංගු කර තිබෙනවා.

මේ අනුව ඊයේ රාත්‍රී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ ඊයේ රාත්‍රි 07 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය අවලංගු කිරීමටයි දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් මහනුවර බලා ධාවනය වන සියලු දුම්රිය ඊයේ පස්වරුවේ ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

එමෙන්ම ඊයේ දිනයේ අවලංගු කෙරුණු සියලු දුම්රිය අද සිට යළි ධාවනයට එක්කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content