2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර චරිත් අසලංක උප නායකයා ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.
බංග්ලාදේශ සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ධනංජය ද සිල්වා සංචිතයේ ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති දුනිත් වෙල්ලාලගේ සංචිතයට නම් කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.
ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර සමගින් ඩිල්ෂාන් මදුෂංක, නුවන් තුෂාර හා අයි.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ මතිෂ පතිරණ සංචිතයට ඇතුළත්.
2014 විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයේ ස්ථානයක් තහවුරු කර ගෙන ඇති අතර, ඒ අනුව ඔහු මෙවර ක්‍රීඩා කරන්නේ සිය 6 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියයි.
සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් ලෙස අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ හා ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.
ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content