පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් – මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  රාජ්‍ය සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව ට නියම කර තිබෙනවා.

රජයේ විසින් ද මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි තීන්දුවෙන් දක්වා ඇත්තේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පෙත්සම් 12ක් ඉදිරිපත්ව තිබුනා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළා.

WhatsApp Group

Skip to content