ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මෙලෙස යළි රැස්වනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පසුගිය 25වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට එහිදී තීරණය කෙරුණා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන්ද සදුදා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභ නවයක් පත්කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය පිළිබඳ කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව එසේ පත් කෙරෙන සෙසු කොමිෂන් සභා වනවා.

WhatsApp Group

Skip to content