නත්තල් උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා .

ලංගම සහ පෞද්ගලික බස් රථ අද සිට මගී අවශ්‍යතාව මත ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාවට පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40 ක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රාදේශීය කළමනාකරු යූ.ජී.පී.පී. සත්‍යසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අද සිට විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන තිබෙනවා.

සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන්ට අමතරව මෙම දුම්රිය ධාවනයට යොදවන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව අද සිට ලබන 27 වනදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

අද පස්වරු 07 යි 20 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර 24 වනදා සහ 26 වනදා පෙරවරු 7.10 ටද බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනවා.

එමෙන්ම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට 25 වනදා පෙරවරු 07.30 ට සහ පස්වරු 07.30 ට දුම්රිය දෙකක් ද යොදවා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content