Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම සාකච්ඡාවට සහභාගී වූ ගොවි නියෝජිතයින් තම වගාවන් වනඅලීන් විසින් විනාශ කිරීම පිළිබඳවත්, සතුන් විසින් හානි කිරීම නිසා වගා බිම්වලින් නිසි පරිදි ආදායමක් නොලැබෙන බවත් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ප්‍රධාන අලිමංකඩ 16ක් ඇති අතර, එම අලිමංකඩ සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා වනඅලීන්ට අහිමි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

එම නිසා දැනට අලි මිනිස් ගැටුම උග්‍රව පවතින අලිමංකඩ 03ක් ලබන වසරේදී එහි පදිංචි සියලුදෙනා ඉවත් කර, වනඅලීන්ට ගමන් කිරීමට පහසු වන පරිදි නැවත සකස් කරන බව අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම 2024 වනවිට ඉතිරි අලිමංකඩ 13ම නිදහස් කර ගැනීමටත්, ඒවා අත්පත් කරගෙන සිටින පුද්ගලයින් හට වන්දි මුදල් සහ පදිංචි වීමට සුදුසු වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් සැලසුම් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05 ඇතුළු අලිමංකඩ 16ම නිදහස් කර ගැනීම මඟින් වනඅලි මිනිස් ගැටුම් 50%කින් අවම කර ගැනීමට හැකි වනු ඇති බවටයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම අලිමංකඩ සියල්ලම ආවරණය වන පරිදි වගාබිම්, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැඟිලි ඉදිකිරීම් හා සුළු කර්මාන්තශාලා වැනි නොයෙකුත් ඉදිකිරීම් සිදු කර තිබෙන නිසා වනඅලීන්ට නිදහසේ අලිමංකඩ හරහා ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, එවැනි අවස්ථාවලදී ඔවුන් මිනිසුන්ට හා දේපලවලට පහර දී විනාශ කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content