කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

අදාළ කාන්තාව වයස අවුරුදු 29 හැවිරිදි තිදරු මවක් බවටයි වාර්තා වන්නේ.

මාළු ව්‍යාපාරිකයාගේ තර්ජනයට ලක්ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදි සිටි තිදරු මවද පොලිස් බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට ද නිතර තර්ජනය කළ බව එම කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසකට මෙම පැමිණිල්ල සිදු කළ ද කිසිදු ස්ථානයකින් සාධාරණයක් ඉටු නොවූ බවයි.

කෙසේ වෙතත් ඇය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශනය සිදු කර තිබෙනවා.

මේ අනුවයි අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content