පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනිම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරිම සහ පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය හදිසි පරික්ෂාවකට ලක් කිරිමේ මෙහෙයුමක් අද (21) දින දිඹුලපතන පොලිසිය විසින් සිදු කළා.

නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ කොටගල නගරයේ පිහිටි ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරය ඇතිව සහ කොටගල වෙළෙඳ සංගමයේ සහය ඇතිව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවා.

එම පාසලේ ගුරුවරුන් සහ පොලිස් නිලධාරින් විසින් පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය පරික්ෂා කල අතර, එහිදි ඇතැම් පාසල් ළමුන් විසින් විවිධ රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ග කිහිපයක් රැගෙනවිත් තිබු අතර, එම ඖෂධ පොලිස් භාරයට ගෙන වෛද්‍යවරයෙකුගෙන් එම අවස්තාවේදිම පරික්ෂා කර බලා එම ඖෂධ රෝගි තත්ත්වයන් වලට භාවිතා කරන බවට සනාථ කර ගැනිමෙන් පසු ඖෂධ වර්ග අදාල සිසුන්ටම භාර දිමට පියවර ගැනුණා.

පාසල් වලට පැමිණි සියළුම සිසු සිසුවියන්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරිම නිසා සිදු වන ඵලවිපාක පිලිබඳ පොලිසිය විසින් දැනුවත් කල අතර, පාසල අවට පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන ජාවාරම්කරුවන් පිලිබදව තොරතුර වෙතොත් පොලිසිය වෙත හෝ විදුහල්පතිවරයා වෙත තොරතුර ලබාදෙන ලෙස පොලිස් නිලධාරින් විසින් පාසල් ළමුන් දැනුවත් කර තිබෙනවා.

ඇතැම් පාසල් ළමුන්ගේ බැගය තුල රු 20000 සිට 75000 දක්වා අතර මුදල් තිබු අතර, එම මුදල් පොලිස් නිලධාරින් විසින් භාරගෙන එම විදුහලේ විදුහල්පතිවරයා වෙත භාරදී තිබෙනවා.

මෙවැනි හදිසි පරික්ෂා කිරිම් සිදු කිරිම තුලින් පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනිමට හැකි බවයි හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ විදුහල්පති එස්. නිකලස් මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content