ගැම්බියාවේ ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් හතර සිය පිරිවිතරයන්ට අනුකූල වූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.

ඉන්දීය රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය – සිරප්වලට දොස් පැවරීම පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් අවදානම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් තම මුලික කාර්යයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද සිරප් අලෙවිය නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්තෝම්බර් මාසයේදී උපදෙස් ලබා දී තිබුනා.

ජුලි මස අගදී ගැම්බියාවේ වෛද්‍ය බලධාරීන් විසින් වයස අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර වකුගඩු ආබාධ ප්‍රවනතාවක් පිලිබඳ අනාවරණ කළා.

මෙම තත්වය හමුවේ ළමුන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ගැම්බියා රජය ප්‍රකාශ කළේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙම මරණ ඉන්දියානු සමාගමක් විසින් සාදන ලද කැස්ස සිරප් හතරක ප්‍රතිඵල බවයි.

ඉන්දියානු නිෂ්පාදන හතරෙහි සාම්පල පරීක්ෂා කර ඇති අතර ඒවා දරුවන්ට අහිතකර බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබෙනවා.

උතුරු හර්යානා ප්‍රාන්තයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නතර කරන ලෙස ඉන්දියානු රජයද ඒ අනුව නියෝග කර තිබුනා.

කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් ආචාර්ය වී.ජී. සෝමනි, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යවමින් කියා සිටියේ, රජයේ රසායනාගාරයකදී තමන් විසින් පරීක්ෂා කරන ලද සාම්පලවල දූෂිත සංයෝග හමු නොවූ බවයි.

එම පරීක්ෂණ ප්‍රතිඵල ඉන්දීය විශේෂඥ මණ්ඩලයක් විසින් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බවද ලිපියෙන් දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content