ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

බ්ලූම් බර්ග් ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය සදහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක මුදල නිදහස් කර ගැනීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් ඒ හරහා විසදෙන බවයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වී පාර්ශ්වික ණය හිමිකරුවෙකු වන බවද බ්ලුම් බර්ග් වෙබ් අඩවිය උපුටා දක්වා තිබෙනවා.

බ්ලුම් බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කරන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය පසුගිය 16 වනදා පස්වරුවේ ඉන්දියාව නිකුත් කර ඇති බවයි. එය ඉතා ධනාත්මක වර්ධනයක් ලෙස ද බ්ලූම් බර්ග් වෙබ් අඩවිය හදුන්වා දී තිබෙනවා.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඉතාම නුදුරු අවස්ථාවකදී හිමි වනු ඇති බවයි.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුව වඩාත් සාර්ථක වීමට නම් චීනය, ජපානය සහ පැරිස් සමූහයේ එවැනිම එකගවීම් අවශ්‍ය වනු ඇති බවද සඳහන්.

වාණිජ ණය හිමියන් ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ධනාත්මක අදියරක සිටින අතර මෙම වසරේ දෙවන භාගයේදී ඔවුන් අපේක්ෂා කරන මට්ටමට ළගා වීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content