පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් පොලිස් නිලධාරීන් ඇතුළු 33 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පකිස්ථානයේ පොලිස් මූලස්ථානයක් තුළ පිහිටි මුස්ලිම් පල්ලියක් තුළ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

බෝම්බ පිපිරීමෙන් පසුව රටම සීරුවෙන් තැබීමටයි රජය තීරණය කර ඇත්තේ.

දහවල් යාඥා මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් මාධ්‍ය වෙත කියා සිටියේ පල්ලියේ යාඥාව සඳහා නිලධාරීන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් සහභාගි වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

ප්‍රහාරය හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් සුන්බුන් යට වැළලී ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් ආරක්ෂිතව පිටතට ගෙන ඒමට උත්සාහ කරන බවත් ඔහු කියා සිටියා.

ගලවා ගැනීම් දිගටම සිදු කරගෙන යන බවත් දිවි ගලවා ගත් අය සුන්බුන් අතරින් හමුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෙෂාවර්හි පොලිස් මූලස්ථානය නගරයේ වඩාත් දැඩි ලෙස පාලනය වන ප්‍රදේශයක් වන අතර බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිවාස පිහිටා ඇත්තේද එම ප්‍රදේශයේයි.

එසේම පොලිස් මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදවයි.

පිපිරීමෙන් අනතුරුව රට දැඩි සීරුවෙන් තබා ඇති අතර මුරපොලවල් වැඩි කර අමතර ආරක්ෂක හමුදා යොදාව ඇති බවත් ඉස්ලාමාබාද් අගනුවර ගොඩනැගිලි සහ නගර පිවුස්ම ස්ථානවල ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක්ද යන්න බෝම්බ නිෂ්ක්‍රීය අංශ සොයා බලමින් සිටින අතර දැනට තහවුරු කරගෙන ඇත්තේ දෙවන වන්දනාකරුවන් අතර පිපිරීම සිදුව ඇති බවයි.

බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන 47 හැවිරිදි ෂාහිඩ් අලි කියා සිටියේ ඉමාම් යාඥාව ආරම්භ කර තත්පර කිහිපයකට පසුව පිපිරීම සිදු වූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කළුදුම් අහසට නඟින ආකාර දුටු බවත් තමාගේ ජීවිතය බේරා ගැනීමට දිව ගිය බවත්ය.
එසේම මිනිසුන්ගේ කෑගැසීම් තවතමත් තමාගේ මනසෙහි දෝංකාර දෙන බවත් මිනිසුන් උදව් ඉල්ලා කෑ ගැසූ බවත් ඔහු AFP පුවත් සේවයට පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතව තිබුණේද අද(30) දිනයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අවසන් මොහොතේ එම සංචාරය අවලංගු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content