දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.

නමුත් මුදල් ලබාදෙන තුරු දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද බාරදිය නොහැකි බවයි ඇය අද මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ.

දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැති බවයි ඇය කියා සිටියේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක්.

එහෙත් එම මුද්‍රණ කටයුතු වෙනුවෙන් රජයෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බවයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ.

යම් කිසි හේතුවක් මත ඒ මැතිවරණය අවලංගු කෙරුණහොත් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එහෙත් උපදෙස් පත්‍රිකා සහ පෝරම පමණක් වෙනත් මැතිවරණවලට යොදාගත හැකි බව සඳහන්.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මුදල් ලබා දෙන තුරු ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දැනුම් දී තිබුනා.

WhatsApp Group

Skip to content