පාස්කු ප්‍රහාරයට අදාළව නඩුව විභාගවන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කිරීමෙන් පසු ඔහු විත්තිකූඩුවට නැග තිබෙනවා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දියි.

එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටි අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමුකර ඊට විරෝධය පළකළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නොකළ බවයි.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේ.

WhatsApp Group

Skip to content