චරිත් අසලංකගේ විශිෂ්ඨ ඉනිම හා දුනිත් වෙල්ලාලගේගේ සටන්කාමී ඉනිම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තෙවැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදී.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක සමත් වුණේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 101 ක සබඳතාවයක් ගොඩ නගමින්.

මෙන්ඩිස් ලකුණු 67 කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 35 කට දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි.

නායක දසුන් ශානක පන්දු 44 කින් ලකුණු 43 ක් ලබා සිටියදී දවා ගැනීමට රෂීඩ් ඛාන් සමත් වුණා.

කෙසේ වෙතත්, අනෙක් අන්තයෙන් පාදයේ ආබාධයක් ද සහිතව පිතිකරණයේ නිරත වූ චරිත් අසලංක සිය කඩුල්ල අවසන් මොහොත දක්වා රැක ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ තරගයේ අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින්.

පන්දු 72 කින් චරිත් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 83 ක්.

හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහුට අනගි සහායක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා ගොඩනැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 65 ක්.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රීදානගනයේ පැවති එක දින තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්වුනා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 162ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් ඇතුළත්.

නජිබුල්ලා සඩ්රාන් පන්දු 76කදී ලකුණු 77ක් රැස්කළේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින්.

වනිඳු සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුනා.

ඒ අනුව සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සම්න්විත තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

WhatsApp Group

Skip to content