නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස් ඇති බවත් අදාළ දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියදී අප්‍රේල් 24 වැනිදා යළි අත්අඩංගුවට ගත්බවත් පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට කෑම පිසීමට එම නිවසට පැමිණ සිටියදී පුද්ගලයකු සතු ජංගම දුරකථනය මෙම බාලවයස්කාර ළමයා විසින් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අදාළ ජංගම දුරකතනය සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙම ළමයා සැකපිට අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකාර බාලවයස්කාර දරුවා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් කොස්තාපල්වරියකගේ භාරයේ රඳවා සිටියදී පළාගොස් ඇති බවයි.

ගනේමුල්ල පොලිස් වසමේ පහළ යාගොඩ ප්‍රදේශයේ මෙම ළමයාගේ ඥාති නිවසක සැඟවී සිටයදී යළි අත්අඩංගුවට ගැනුණු බවද දේවාලේගම පොලිසිය පවසනවා.

එසේම එම දරුවා මීට මාස තුනකට පමණ ඉහතදී නිවසින් පළාගොස් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ආසන්නයේ රැඳී සිටියදී සොයාගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අයෙකු බවද පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ අධිකරණය මගින් පරිවාස භාරයට පත් කර සිටි මෙම දරුවා පසුව ඔහුගේ සහෝදරයකුට රැකබලා ගැනීමට බාරදී තිබූ බවයි.

අදාළ සැකකාර බාලවයස්කාර දරුවාගේ මව මියගොස් සිටින අතර පියා වෙනත් විවාහයක් කරගෙන සිටින තැනැත්තකු බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනවා.

WhatsApp Group

Skip to content