ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

මේ අනුව ලබන දස වනදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටත්, මීට පෙර තීරණය වී තිබුණා.

මේ අනුව ලබන 13 අගහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර පෙර තීරණය කළ පරිදි 09 වන සිකුරාදා, එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා අවධාරණය කර සිටියා.

තවද ලබන අට වනදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තුන් වන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 05.00 ට පැවැත්වීමට ද කාරක සභාවේ එකඟත්වය පළ වී තිබෙනවා.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ 2022 දෙසැම්බර් මස තුන් වන දිනැති 2308 / 62 අංක දරණ ගැසට් පත්‍රයේ සදහන් නියමය ද අනුමතිය සදහා ලබන අට වනදා ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම ලබන 13 වැනිදායින් පසු නැවත 2023 ජනවාරි මස 17 වනදා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණ වූ බව මහලේකම්වරයා සඳහන් කළා.

මේ අතර අද වාරිමාර්ග අමාත්‍යංශයේ සහ ධීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පිළිබඳ අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content