බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ කැබ් රථයක් පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11 කට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ද කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමුකර තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම පාසල් සිසුවාද කැබ් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි.

ඔහු තරමක මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව පෙනී යාම හේතුවෙන් මෙසේ මානසික වෛද්‍යවරයකුට යොමු කල බවත්, ඉන් අනතුරුව බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත එම සිසුවා යොමු කරන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

මෙම අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 11 දෙනාගෙන් සිසුන් දෙදෙනකු රෝහලේ වාට්ටු අංක 11 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ වාට්ටුවෙන් පැන ගොස් ඇති බව සඳහන්.

නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසුව සිසුන් අටදෙනකු රෝහලෙන් පිටවී ගොස් ඇති අතර අනතුරුදායක ලෙස කැබ් රථය පදවා තුවාල ලැබු මෙම සිසුවා පමණක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේ .

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර පැවති 74වන ඌව මහ සංග්‍රාමය වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවත්වෙමින් තිබියදී පාසල් සිසුන් පිරිසක් නංවා ගෙන බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ අනාරක්ෂිත ලෙස කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී කැබ් රථය පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබුනා.

එම අනතුර හේතුවෙන් බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content