ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැසට් නිවේදන දෙකක් මගින් පනවනු ලැබූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් වූ නඩු සමතයකට පත් කර ගැනීමටද එහිදී එකග වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකෙහි ඇතුලත් රෙගුලාසි අත්හිටුවීමේ නියෝගයක් මෙම වසරේ පෙබරවාරි 27 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතර, ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා පෙත්සම් 03ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

එම අභියාචනා තුන විභාගයට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරදේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේදීයි.

ඒ අනුව මෙම වසරේ මැයි 20 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුගිය දෙසැම්බර් 14 වැනිදාට පෙර පැවති රෙගුලාසි යටතේ සහ ඒ ප්‍රකාරව පැවත්වීම, මැයි 20 වැනිදා සිට තේරී පත්වන නිලධාරී මණ්ඩලයට නිල තල දැරීමේ කාල සීමාව ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව අනුව අයිතිය හිමිවීම ඇතුළු කොන්දේසි 08ක් යටතේ මෙම නඩු සමතයකට පත් කර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content