පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභ හානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනා ද සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා.

ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බවයි නියෝජ්‍ය උපකුලපතිවරයා පවසන්නේ.

එලෙස ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විධානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනාගේ බවයි සඳූහන් වන්නේ.

මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළද විනිසුරුවරයාගේ තීරණය වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බැවින් ඔවුන් දෙදෙනා සෘජුව මීට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙයසි.

මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන ජනවාරි මස 04 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content