සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(12) සමත් වූවා.

ඒ දෙවන තරගයෙන් කඩුලු හතරක විශිෂ්ඨ ජයක් ලබාගැනීම හේතුවෙන්.

දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 215ක් පමණයි.

සිය මංගල එක්දින තරගයට එක්වූ නුවනිඳු ප්‍රනාන්දු මංගල තරගයේදීම පළමු අර්ධ ශතක රැස් කරමින් ලකුණු පනහක් ලබාගැනීමට සමත් වූවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුනු 32ක්ද ලබාගැනීමට සමත් වූවා.

වනිඳු හසරංග ලකුණු 21ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක්ද ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් සිරාජ් සහ කුල්දීප් යාදෙව් කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූ අතර උම්රන් මලික් කඩුලු දෙකක්ද අක්ෂාර් පටෙල් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 43.2ක් අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත් වූවා.

නොදැවී පන්දුවට පහරදුන් කේ.එල්. රාහුල් ලකුණු 64ක් ලබාගැනීමට සමත් වූ අතර හර්දික් පාන්ඩ්යා ලකුණු 36ක් ලබාගැනීමට සමත් වූවා. ෂෙයාස් අයියර් ලකුණු 28ක්ද ෂුබ්මන් ගිල් සහ අක්සර් පටෙල් ලකුනු 21 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින්ද කසුන් රජිත සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

තරගයේ වීරයා ලෙස කුල්දිප් යාදෙව් සම්මාන ලැබුවා.

තරගාවලියේ අවසන් තරගය 15 වැනිදා තිරුවනන්තපුරම්හිදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content