75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ දීයි.

එහිදී සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

සම්ප්‍රදායිකව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.

මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින්ද මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිල දී ගැනීමට අවස්ථාව සළසා තිබෙනවා.

මේ අතර 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වන රුපියල් දහසක වටිනාකමකින් යුතු සමරු කාසිය සංසරණය සඳහා නොවන බවයි ජනාධිපති මාධ්‍යය ඒකකය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content