පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස්වීමක් සිදුවී ගැටුමක් හටගෙන තිබුණා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී මහාචාර්යවරයාගේ නිවසේ සි.සි.ටි.වී දර්ශන උපයෝගී කර ගනිමින් එහි දේපොළවලට හානි සිදු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නිශ්චිතව හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව සිද්ධියට අදාළව මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ආරම්භ කර ඇති අභ්‍යන්තර පරීක්ෂණයට අදාළව පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විශ්වවිද්‍යාල සිසුන්ට තාවකාලික පංති තහනමක් පැනවීමටද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content