හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුරය, පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදි තුවාල ලැබු පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුරය මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදු කිරීම යන වැරදී සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් හය දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද අනුරාධපුරය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content