නවක වදය මුල් කර ගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිස් දෙදෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ පවසනවා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සහ අස්ගිරි මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ අතර සාකච්ඡාවක් මහනුවරදී පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අස්ගිරි මහා විහාරය වෙත පැමිණි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ, මහාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන, මහාචාර්ය පූජ්‍ය අලුත්ගම විමලරතන, පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද යන ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ බැහැ දැක තිබුණා.

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ඊ.ඒ ගුණසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

විශ්වවිද්‍යාලයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මහ නායක ස්වාමීන් වහන්සේ දැනුම්වත් කර උපදෙස් ලබා ගැනීම සඳහායි මෙම පිරිස මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හමු වී ඇත්තේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ද බැහැ දැක අදාළ ගැටලුව පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා. මෙම අවස්ථාවට මල්වතු විහාර පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ද එක් වුණා.

WhatsApp Group

Skip to content